පවුලක සතුට සාමය සඳහා වැදගත් වන්නේ මොනවාද? මේ පැණයට ඔබ නොයෙකුත් පිළිතුරු දෙයි. ඒ අතර එම පවුලේ බැඳීම යන කාරණය තියෙනවාද?
වෙන වචනයකින් කියතොත් යම් පවුලක (වෙසෙසින්ම බිරිඳ සහ සැමියා අතර) ඇති බැඳීම බලවත් නම් එම පවුලේ සතුට වැඩියි නේද? ඒ වගේම ළමයින් ඉන්න පවුලක සැමියා, බිරිඳ සහ ළමුන් අතර බැඳීම බලවත් නම් ඒත් එහෙම නේද? එනම් අපි දුටුවොත් පවුලක් යනු ඒකකයක් ලෙස, එම ඒකකයේ ශක්තිය වැඩි වන්න වැඩි වන්න එම ඒකකය වඩාත් සතුට පිරුණ සාර්ථක ඒකකයක් වෙනවා නේද?
මෙම ඒකකය වඩා ශක්තිමත් කරන විදිය අපි දැන් බලමු. හැබැයි ඊට පෙර මේ ඒකක හැදෙන්නේ කොහොමද කියා අප බැලිය යුතුයි.
ඉහත උදාහරණය අනුව මාලා හා සමන් විවාහ වී නව ඒකකයක්/ පවුලක් තැනීමට පෙර ඔවුන් සිටියේ කෙසේද? ඔවුන් සිටියේ ඔවුන්ගේ මුල් පවුල්වලයි.
මාලාගේ පවුලේ හිටියේ ඇගේ අම්මායි තාත්තායි නංගියි මල්ලියි. සමන්ගේ තාත්තා මිය ගිහින්. ඔහුගේ පවුලේ හිටයේ අම්මයි සමන්ගේ අයියයි. සමන් තමයි බාලයා.
ඔන්න පසු කළෙක සමන් හා මාලා මුණ ගැහුණා කියලා හිතමු. ඉන් පස්සේ දෙන්නා පෙමින්වෙළී විවාහ වීමට තීරණය කළා. නැතිනම් මංගල යෝජනාවක් වෙන්නත් පුළුවනි.
ඔන්න දැන් තමයි ඔවුන් නව ඒකකයක් හැදීමේ වැඩේට මුල පුරන්නේ. මෙහෙම තමයි ලෝකයට අළුත් ඒකක නැතිනම් පවුල් බිහිවන්නේ. අපි දැන් බලමු මාලා හා සමන්ගේ විවාහය සිදු වන හැටි.
ඇත්තටම මෙහෙම තමයි මාලාගේ හා සමන්ගේ මුල් පවුලුත් හැදුනේ. ලෝකය ඉදිරියට යන්නේ මෙහෙම තමයි.
දැන් අපි හැරෙමු අපේ මූලික කරුණ දෙස: පවුලක නැතිනම් ඒකකයක ශක්තිමත් භාවය. දැන් ඉතා වැදගත් පැණයක් අහන්න වෙනවා. එනම්, මේ නව පවුලේ නැතිනම් ඒකකයේ ශක්තිය වැඩිවන්න නම් මාලා හා සමන් තමන්ගේ පැරණි ඒකක වලින් කොයි තරම් දුරට වෙන් වී නව ඒකකය වෙනුවෙන් කැපවිය යුතුද? ටිකක්ද, නැතිනම් ගොඩක්ද?
එනම් මාලා හා සමන් එක පයක් පරණ ඒකකයෙත් එක් පයක් අළුත් ඒකකයෙත් තබා ගෙන සිටීම නව ඒකකය ශක්තිමත් වීමට බාධාවක් නේද? මෙයින් අදහස් කරන්නේ තමන්ගේ මවුපියන් සහෝදර සහෝදරියන් සමග අමනාප වී කතා නොකොට සිටිය යුතු බව නොවෙයි. එහෙනම් මින් අදහස් කරන්නේ කුමක්දැයි යන්න අපි විමසා බලමු.
මාලා තම පරණ ඒකකයෙන් වෙන්වී නව ඒකකය තැනීමට දායක වීම ගමු. මෙහිදී මාලා තම පරණ ඒකකයෙන් ඉවත් වී ආ යුතුයි. එනම් පරණ ඒකකයේ දැන් මාලා නොමැත. නිදසුනක් ලෙස දැන් මාලාගේ මහගෙදර වෙනසක් කරන්න ඇතැයි සිතමු. සමහරවිට කොටසක් කඩා ඉවත් කොට නව කොටසක් ගොඩනැගීම යැයි සිතමු.
දැන් මෙම තීරණය ගන්නේ මාලා ගේ අම්මා තාත්තා, නංගී සහ මල්ලී යන අයයි. මන්ද දැන් එම ඒකකයේ සාමාජිකයෝ වන්නේ ඒ අයයි. මාලා එම තීරණයට සම්බන්ධ නැත. පසුව එම තීරණය එම අයට මාලාට දැනුම් දිය හැක. එවිට හැකිනම් එම කාර්යයට උදවු වනවා හැර එම තීරණයට අත පෙවීමට මාලාට දැන් හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැත. මන්ද එම තීරණය මාලාගේ නව ඒකකයට අදාළ නොවන නිසාය. මෙය මෙසේම සමන්ටද අදාළ වෙයි.
අවසානාවකට අපේ සමාජයේ බොහෝ විට දක්නට ලැබෙන දෙයක් නම් නව පවුලට වෙනම ඒකකයක් ලෙස හැඩ ගැසීමට ඉඩ දෙනවා වෙනුවට අන් අය, වෙසෙසින්ම වැඩිහිටියන්, ඊට ඇඟිලි ගැසීමට යාමයි. මේ නිසා සිදුවන්නේ නව ඒකකයේ ශක්තිමත් බව අඩුවී යාමයි. මෙය කෙතරම් දරුණු ලෙස සිදුවනවාද කියතොත් සමහරවිට සැමියා තම බිරිඳගේ වරදක් පවසන්නේ තම මවුපියන්ටයි. ඔවුන් බිරිඳගේ මවුපියන් හරහා මේ ගැන බිරිඳට දන්වයි.
මෙසේ ඔබට පෙනෙන අයුරු, එක වහළක් යට එකා මෙන් සිටිය යුතු දෙදෙනා එක් ඒකකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා වෙනුවට දෙපසට බෙදුණු දෙදෙනෙකු ලෙස වැඩකරති. එවිට ඒකකය ශක්තිය සහමුලින්ම දුර්වල වී ඇතැයි ඒකකය සංකල්පය සම්පූර්ණයෙන් බිඳවැටී ඇතැයි කව හැක.
එසේම මෙහි අනෙක් පැත්තද අදාළය. එනම් දෙදෙනා අතර බැඳීම වැඩි වන විට ඒකක ශක්තිය වැඩිවී ඒකක සංකල්පය වඩා දැඩි වී ඉතා වාසනාවන්ත සතුටෙන් පිරුණ පවුලක් ගොඩ නැගෙයි. ෴෴
-Mahesh Rajasuriya.