අපට සියයට සියයක් උපේක්ෂාසහගත විය හැකිද? ලෝකය ඇති සැටියෙන් දකින්න පුළුවන්ද? | Can anyone be truly objective? – Why we never see the world as it is

අපට සියයට සියයක් උපේක්ෂාසහගත විය හැකිද? ලෝකය ඇති සැටියෙන් දකින්න පුළුවන්ද?

Can anyone be truly objective? – Why we never see the world as it is

 

වෛද්‍යවරයෙකු වීමට පෙර ශිෂ්‍ය කාලයේ මා ඉගෙනගත්තේ රෝග ලක්ෂණ වලට හේතු හා ප්‍රතිකාර සෙවීමටය. වෛද්‍යවරයෙකු වීමෙන් පසු රෝගය කුමක්ද එය සුව අතට හරවන්නෙ කෙසේද යන්න සෙවීමට පටන් ගතිමි. වසර ගණනාවක් යන විට රෝගියා කවුද මේ මොහොතේ මා ඉදරියේ ඇය සිටින්නේ මන්ද මට ඇය වෙනුවෙන් වෛද්‍යවරයෙකු ලෙස කළ හැකි දේ මොනවාද යන්න සෙවීමට පටන් ගතිමි. පසුකලෙක මේ දේ සිදුකරන අතර තුර රෝගියා තුළ මා සෙවීමද රෝගියා මෙන්ම මා ද සුව කිරීමට උත්සුක වීමද මෙයට එකතු විය. මේ පරිණාමය සායනික තීරණ ගැනීමේදී සිදුවන වැරදි දිගින් දිගටම අවම කර ගැනීමට උදවු වන බව නොකිවමනාය. නමුත් මෙතෙක් මේ ආ ගමන අසීරුය; මහත් සංයමයක් අවැසි විය; නොකැඩෙන අවධානයක් පවත්වා ගත යුතුය. නමුත් මේ හැමට වඩා වැදගත් වන්නේ අවංක අව්‍යාජ විවෘතබවයි. වැරදි අවම කරවන අවංක අව්‍යාජ විවෘතබව කුමක්දැයි මදකින් විමසමු.

සීමාවාසික වෛද්‍යවරෙයකු ලෙස සිදු කළාවූ තවමත් මතක් වෙන අමිහිරි වැරදි ඇත. කිසිවෙකු ඇසින් නොදුටු එක් කරවල දෂ්ටනයක් වෙනත් රෝග තත්වයක් ලෙස විනිශ්චය කර සිදුවූ විනාශය තවම මතකය. අසාමාන්‍ය හෘදයාබාධයක් පෙනහළු ආසාදනයක් යැයි මහරෑ එක්ස්රේ ගැසූ සැටි තවම මතකය. මනෝවෛද්‍යවරයෙකු ලෙස පුහුණු වෙන කළ රෝගියා ලඟ සිටින කෙනා සියල්ල දත් යැයි සිතා ඇසූ පැණයකින් රෝගියා ඔහුගෙන් වසන් කළ කාරණයක් මගේ කටින් අමු අමුවේ පිටවුණ සැටි තවමත් මතකය. පසු ඉතිහාසය මා දන්නේ යැයි සිතා සුපැහැදිලි රෝග විනිශ්චයක් වරද්දා ගත් හැටි තවම මතකය.

මෙහිදී මදක් දෑස් සවන් දල්වා බැලූකළ පෙනෙන දේ නම් බොහොමයක් මෙම වැරදි යට ඇත්තේ සැණෙන් අපේ මනස නිගමනයන්ට එළැඹීම යන කාරණයයි. අප එදිනෙදා මෙය හඳුන්වන්නේ නොසැළකිලිමත්කම, අත්වැරදි, විඩාව, නිසි තොරතුරු නොලැබීම ආදී ලෙසිනි. නමුත් මානව පරිණාමය සම්බන්ද කාරණයක් නිසාදෝ අප මනස නිතරම කරන දෙය නම් හැකි ඉක්මණට නිගමනයකට එළැඹීමයි. එතකන් මනස ළතැවෙන්නේ තම අත දරුවා අතුරුදන් වූ මවක මෙනි. නිගමනයකට එළැඹි විගස දරුවා ලද මව මෙන් මනස සන්සුන් වෙයි. නමුත් මේ මව නොදත් කාරණය නම් බොහෝවිට ඇය ළඟ දැන් සිටින්නේ ඇගේ නියම දරුවා හෙවත් නිවැරදි දරුවා නොවන බවයි.

මවිසින්ම හා අන් අය විසින් සිදුකළ මෙවැනි සාවද්‍ය නිගමන දැන් මතකයට ගලා එයි. රෝගියාගේ සාත්තුකාර මිතුරා රෝගියාගේ තොරතුරු දන්නේ යැයි මා කළ අනිසි නිගමනය නිසා ඉහත කිවූ පරිදි රෝගියාගේ රහසක් එනම් ඔහු රෝහලට ඇතුළ් වුණේ සියදිවි හානි උත්සාහයක් නිසා බැව් මාගේ කටින් පිට විය. “ආ! ඒකද ඩොක්ටර් නාමල්ව ඊයෙ රෑ ඇඩ්මිට් කළේ? මං දැනන් හිටියෙ නැහැනෙ.” යැයි ළඟ සිටි මිතුරා කියන විට මාගේ සිරුර කේශාන්තයේ සිට පාදාන්තය දක්වා රත්ව ගියේය. එක් ප්‍රාදේශිය පොලිස් නිළධාරියෙකු ආඩම්බරයෙන් පළාතේ සිදුවන අපරාද වලට වගකිව යුත්තේ දැන් සිවිල් වැසියෙකු ලෙස වෙසෙන හිටපු LTTE සාමාජිකයකු බව නිගමනය කළ සැටි කියන විට මට කට උත්තර නැති විය. “ක්‍රයිම් එකක් වුණ ගමන් ඩොක්ටර් මම මිනිහගේ ෆෝන් ඇක්ටිවිටි මොනිටර් කරනව – ෆෝන් එකට නිතර කෝල් එනව. හැම සැරේම එහෙමයි. මිනිහ තමා මේ ඔක්කොම කරවන්නෙ. මම දවසක් ක්වෙස්චන් කරාම මිනිහ වෙවුලන්න ගත්ත.” සාමාන්‍ය දිනවලද ඔහුගේ දුරකතනය එතරම් කාර්ය බහුලදැයි ඇසූ විට නිළධාරියා ඊට පිළිතුරු දීම මග හැරියේය. ඔහු වෙවුලන්න ඇති හේතු කතා කිරීමද තේරුමක් නැති දෙයක් විය. තවත් උදාහරණ ඕනෑ තරම්ය.

මෙවැනි වැරදි නිගමන හා ඉන් සිදුවන හානි සියල්ල වළකා ගත නොහැකිය; නමුත් වැඩි ප්‍රමාණයක් වළකා ගත හැකිය. වෛද්‍ය වැරදි නිසා රෝගී ජීවිත විසාල සංඛ්‍යවක් වසරකට අහිමිවෙයි; තවත් විසාල පිරිසක් එම වැරදීම් නිසා දරුණු පීඩා වලට මුහුණ දෙති. වෛද්‍යවරු සහ පොලිසිය පමණක් නොව උසාවිය, දේශපාලනය, ගුරු ප්‍රජාව ආදී නොයෙක් වෘත්තිකයින් මෙන්ම සාමාන්‍ය මහජනතාවද සාවද්‍ය නිගමන වලට සැණින් එළැඹෙති. එසේ එළැඹුණු පසු අපට එම නිගමන අචල සත්‍යය ලෙස දැනෙයි. දරුවා ලද මව මෙන් සැනසෙයි. වෙනත් කෙනෙකු ඊට වන්දි ගෙවයි. සමහරවිට ජීවිතයෙන්පවා. වැරදි නොකළ මිනිසුන් පෝරකයට යන හැටි, රට ගොඩ දැමීමටැයි කියා අනාගතය අනතුරේ හෙළන තීරණ ගන්නා හැටි, සිසුන් යහමගට ගන්නැයි සිතමින් ඔවුන්ගේ ජීවිත විනාස කරන හැටි මතක් කර ගන්න.

සාවද්‍ය ලෙස දැන දැන වැරදි නිගමන මවා පෙන්වා සාහසික වැරදි කිරීම වෙනම මාතෘකාවකි. අද මා කතා කරන්න හදන්නේ අප නොදැන හරි නිගමන යැයි අපම හඟිස්වාගනිමින් වැරදි නිගමන ගැනීම හා දිගින් දිගටම එම වැරදි නිගමනවලම එල්බ සිටීම ගැනයි. පළමුවැන්න ගැන මා දැනටම යමක් කියා ඇත. දරුවා අහිමිවූ මවට තමන්ට ඇතිවන හැඟුම් දරා ගැනීමට නොහැකි මෙන් අප මනසට යම් අවස්ථාවකදී කුකුස, සැකය, අනියත බව දැණුනු කළ එය දරා ගැනීමට අපහසු සෙයක් පෙන්වයි. මෙය එක එක්කෙනාට වෙනස් මට්ටම් වලින් දැනෙයි. මේ අපහසුව මග හරවා ගැනීමට අප මනස වේගයෙන් නිගමනයකට එළැඹ කුකුස, සැකය, අනියත බව නැති කර ගනියි. ඒ සමග නිවැරදිබව පෑල දොරින් පළා යයි.

වරක් මගේ නගරවාසී මිතුරෙකු ගෙදර ඒමට මදක් පරක්කු විය. නිවස ආසන්නයට එන විට වීදි අයිනේ සිටින රූපත් තරුණ කාන්තාවක ඔහු ඇස ගැටිණ. ගොම්මන් වේලාව, රූපත් තරුණ කාන්තාවක් වීම, ගනුදෙනුකාරයෙකු එනතෙක් කර උස්සා බලමින් සිටීම ඔහුට ඇය වෛශ්‍යාවකැයි තීරණය කිරීමට ප්‍රමාණවත් විය. නමුත් ඇය පසු කරන විට රථයේ වීදුරුවෙන් ඔහු දුටුවේ සැමියා අද පරක්කු මන්දැයි බැලීමට පාරට ආ ඔහුගේ පෙම්වත් බිරිඳයි!

සැණෙකින් මෙම සාවද්‍ය නිගමනය වාසනාවකට නිකම්ම නිවැරදි විය. නමුත් අප හැමවිටම මෙතරම් වාසානාවන්ත නැත. මෙම උදාහරණයේදී මා මතුකිරීමට උත්සාහ කරන කාරණය එය නොවේ. එනම් මෙම සාවද්‍ය නිගමනයට එළැඹිමට මගේ මිතුරාට ගත වුණේ තත්පර දෙකකට අඩු කාලයකි. නාඳුනන කාන්තාවක වෛශ්‍යාවකැයි නිගමනය කිරීම මහා බරපතල ගනයේ පසු පල සහිත බයානක නිගමනයකි. සිතන්න මෙම නිගමන පහළ වූයේ පොලිස් නිළධාරියකු තුළ කියා. කොතරම් බරපතළ වුණත් මගේ මිතුරාගේ මනස එම නිගමනයට සැණෙන් පමණක් නොව සුපැහැදිලිව එළැඹිණි. වීදුරුවෙන් ඇය වත නොදුටුවානම් අදත් ඒ සාවද්‍ය නිගමනය නිවැරදි නිගමනයක් ලෙස සැළකෙණු ඇති.

මගේ මිතුරා මෙම සිද්දියෙන් සංතාපයට පත් විය. පසුව මේ ගැන දිගින් දිගට සිතීමෙන් අනතුරුව තමන්ට නව සිල් පදයක් හෙතෙම පනවා ගති. එනම්, මින් මනත කිසිම කාන්තාවක කිසිම හේතුවක් නිසා වෛශ්‍යාවකැයි නොසිතන බවට සපථයකි. ඔහු හපනෙකු බැවින් තම මනස සිදු කළ දුර්දාන්ත ක්‍රියාවලිය ඔහු දුටුයේය. නමුත් අපි බොහෝ දෙනා එතරම් හපන්නු නොවෙමු.

මනස මෙසේ සැණින් නිසි තොරතුරු නැතිව බරපතළ නිගමන වලට එළැඹීම මනෝ විද්‍යාව, දර්ශණ ශාස්ත්‍රය, සහ සමාජ විද්‍යාව වැනි ධාරා වල ගැඹුරින් හදාරා ඇත. Cognitive bias, heuristics, epistemic fallibilism වැනි සිද්දාන්තද Kahneman, Karl Popper වැනි කතුවරුන්ද මෙහිදී සිහියට නැගෙයි. නමුත් මේ වෑයම ගැඹුරු ශාස්ත්‍රීය විමසුමකට යොමු වීම නොවයි. ඒ වෙනුවට දශක ගණනාවක් තිස්සේ කළ නිරීක්ෂණ අනුව පෙණුනු දෙයක් පැහැදිලි කරමි.

රෝගියෙකු තම පපුවේ කැක්කුම ගැන කියන්න පටන් ගෙන ගත වෙන 23 වැනි තත්පරයේදී ඉතිරි ටික නොඅසා බාධා කොට හෘදයාබාධයක ලකුණු එකින් එක විමසමින් ඒවා රෝගියාට තිබුණේදැයි අසන වෛද්‍යවරයෙකු මම දැක ඇත්තෙමි. බලන්න – දැනටමත් වෛද්‍යවරයා තුළ යම් නිගමනයක් ස්ථාපිත වී ඇත. සැමියාගේ දුරකතනය එක් විශේෂ අවස්තාවකදී කාර්ය බහුල වීම නිසා ටක්කෙටම මොහු කතා කරන්නේ අසවලාට විය යුතුයි යන නිගමනයට එළැඹි බිරිඳක්ද දැක ඇත්තෙමි. සැණින් ඇය අසවලාට ඇමතුමක් ගත් අතර එම දුරකතනයද කාර්ය බහුල වූ බැවින් ඇය ඇගේ නිගමනය සියයට සියයක්ම නිවැරදි යයි තීරණය කළාය. සැකකරුවෙකු කියූ එක වදනක් හෝ ඔහුගේ පෙනුම නිසා අනාවාර්යෙන්ම ඔහු වැරදිකරු යැයි සිතූ ෆේස්බුක්වාසීන් ගැන මම දනිමි.

නොපැහැදිලිබව අප මනසට දරා ගත නොහැකිය. සැකය, කුකුස, සංකාව දරාගෙන සංයමයෙන් සිටීමට මහත් පරිචයක් පුහුණුවක් සහ ඊට මග පෙන්වීමකි අවැසිය. නියම අද්‍යාපයන යනු එය ලබා දීමයි. නමුත් එය අද ලොව කලාතුරකින් සිදු වන්නකි. අප හැම නිතර සාවද්‍ය නිගමන වලට හැම විනාඩියේදීම එළැඹෙමු. එහෙත් අප එසේ කරතියි අපි නොදනිමු. වෛද්‍යවරයෙකු ලෙස මා දියුණු කරගත් වැදගත්ම කුසලතාවයක් වන්නේ මනසට නැතිතින්ම, 23 වැන තත්පරයේ හෝ ඊටත් පෙර සිට, එන රෝග විනිශ්චය ලේබල, මිනිත්තු කිහිපයක් යන තෙක් පසෙකට විසි කිරීමයි. ඉන් මා ලද වාසි සහ සායනික පහසුව මෙතරම් යැයි කිව නොහැක.

දෙවැන්න සහ අවසාන කරුණ මීට වඩා සැකෙවින් ගැන හැර දක්වන්නම්. එනම් අප මෙසේ සංයමයෙන් හෝ අසංයමයෙන් ලබා ගත් නිවැරදි හෝ වැරදි නිගමනය හෝ අවැසිවිට පිළිකෙව් කිරීමට මනස් සකස් කර ගැනීමයි. මෙය පෙර දෙය මෙන්ම අප මනසට කිරීමට මහත් අපහසු දෙයකි. නිගමනයකට එළැඹීම නිසා අප මනසට ලැබුණු පහසුව අත් හැරීමට, දරුවා නැවත අස්ථානගතවීමට මව කිසිසේත් ඉඩ නොදෙන්නාක් මෙන්, අප මනසද ඉඩ නොදෙයි. අපගේ දෘෂ්ඨිය අප අත හැරීමට අකමැතිවා පමණක් නොව සමහරවිට දිවි දෙවැනි කොට එය රැක ගැනීමට අපි සටන් කරමු. මෙහිදී මට සිහි වන ශාස්ත්‍රීය කරුණු සහ කතුවර නම් කිහිපයක් නම්: cognitive dissonance, epistemic closure,  institutional inertia, labelling theory, Festinger, Howard Becker.

නිගමනයකට එළැඹි පසු එය සාවද්‍ය වුවත් එය අත් හැරීමට නම් අපට දැන් මහා බලගතු ප්‍රතිසාක්ෂි අවශ්‍ය වෙයි. දුම්කොළ භාවිතය නිසා පිළිකා ඇති වන බව ඉතා පැහැදිලි කරුණක් වුණත් එය පිලි ගැනීමට දශක ගණනාවක් ගත විය. දැන් ඊට සමාන කතාවක් මද්‍යසාර සහ ගංජා සමග දිග හැරෙයි. සමහර කාරණාවලදී අප වැරදි දෘෂ්ඨිය හෝ නිගමනය හෝ අත් හරින තැනට එන විට සිදුවිය යුතු දේ සිදු වී හමාරය. සමහරුන්ට ඒත් එය අත් හැරීමට බැරිය.

එහෙනම් අප මොකද කළ යුත්තේ? ඔබෙ මනස වහා වහා තීරණවලට නිගමන වලට යන සැටි දකින්න; එය තත්පර ගණනකින් හෝ පමා කිරීමට උත්සාහ කරන්න; තම මතය අභියෝගයට ලක් වුණු විට එය සංයමෙයන් විමසන්න; එය ඔබව පුද්ගලයෙකු ලෙස අභියෝගයට ලක්වුණු අවස්ථාවක් ලෙස දකින්න එපා! ඔබ මතයට/ නිගමනයට/ දෘෂ්ඨියට විරුද්ද දෙයක් තොරතුරක් දුටු විට එය ඔබට විරුද්ද දෙයක් හැටියට දකින්න එපා! තරහ ගන්න එපා!!

–මනෝවෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය