අපට ජීවිතයේ ගැටළු කරදර එන විට හෝ එසේ එතැයි සිතෙන විට අපට දැනෙන අනියත බියට කාංසාව (anxiety) යැයි කියනවා. නිදසුනක් ලෙස වැදගත් විභාගයක් අසමත් වූ පසු හෝ එම විභාගයට පෙර කාලය ගමු; එහෙම නැතිනම් විවාහ වීමට යාමේදී මේ විවාහය සාර්ථක වේදැයි එන අවිනිශ්චිතතාවය; ඒ වගේම විවාහ ජීවිතය ගෙවද්දී යම් ගැටළුවක් ආ විට; අසනිපයක් හැදුණු විට එන අවිනිශ්චිත බව – ආදී වශයෙන් ගත හැකි මෙවැනි උදාහරණ වලදී අපට පෙනෙනවා සමහර අයට කාංසාව අධික ලෙස දැනෙන බව; සමහර අයට අඩුවෙන් දැනෙනවා.
අපි හැමෝම මෙම අධික කාංසාව අඩු කර ගැනීමට කැමතියි. කවුරුත් අනියත බියට කැමති නැහැනේ? මෙම කාංසාවට මූලිකම හේතුව අපට ඕනෑ විදියට අපේ ජීවිතයේ දේවල් පාලනය කර ගැන්මට බැරි වීමයි. එහෙම නැතිනම් එසේ පාලනය කර ගැන්මට ඇති දැඩි වුවමනාවයි. එවැනි අයට කාංසාව වැඩියි. ජීවිතයේ සතුට අඩුයි.
මෙන්න මේ කාංසාව වැඩි අය තම කාංසාව අඩු කර ගැනීමට ක්‍රම හොයනවා. එනම් තම ජීවිතයේ පාලනය තම අතට ගත හැකි ක්‍රම. මේ සඳහා නොයෙකුත් සූක්‍ෂම ක්‍රම නැතුවා නොවෙයි. උදාහරණයක් වශයෙන් විවාහ ජීවිතය සාර්ථක කර ගැන්මට මා තෝරා ගත් මෙම පුද්ගලයා, මා සමග දීර්ග කාලයක් එක්ව වෙසෙන විට කෙසේ හැසිරේදැයි එම පුද්ගලයාගේ සොබාවය පසුගිය අත් දැකීම් ආදිය අනුව අනුමාන කර බැලීම. නමුත් මේවා ටිකක් සංයමයකින් පරිස්සමින් කළ යුතු දේවල්.
අවාසනාවකට කාංසාව වැඩි අයට මෙම පරිස්සමත් සංයමයත් අඩුයි. එම නිසා ඒ අය ජීවිතය තමන්ට අවශ්‍ය විදියට පාලනය කිරීමට හෝ මතුවට කුමක් සිදුවේදැයි අනුමාන කිරීමට නොයෙකුත් කෙටි ක්‍රම හොයනවා. ඉන් එකක් විදියට තමයි ඔවුන් සමහරවිට ජ්‍යොතිෂය දකින්නේ. හානිය වන්නේ ජ්‍යොතිෂයෙන් එසේ අනාගතය හරියට කීමට හැකි බව පෙන්වා දී නැති නිසයි. නමුත් මේ කාංසාව වැඩි අයට එම සරළ සත්‍යය පෙනෙන්නේ නැහැ. පෙනුනත් ඔවුන් එය නොදැක්කා සේ තම කාංසාව අඩු කර ගැනීමේ විදියක් ලෙස නැවත නැවති ජ්‍යොතිෂයටම යොමු වනවා.
වෙනත් කරුණු නිසා ජ්‍යොතිෂයට යොමු වන අයත් ඉන්නවා. නිදසුනක් ලෙස සිරිතක් ලෙස ගෙට ගෙවැදීමේ නැකැත් බැලීම. හැබැයි කාංසාව නිසා නොව සිරිතක් ලෙස නැකත් බලන කෙනා, සුදුසු නැකතක් නැතිනම් තමනට පාඩු වෙන ලෙස ගෙට ගෙවැදීම කල් දමන්නේ නැහැ. නමුත් කාංසාව නිසා නැකත් බලන කෙනා පාඩුව පෙනි පෙනීත් ගෙට ගෙවැදීම කල් දමනවා.
– මහේෂ් රාජසූරිය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ සරසවිය
මනෝ වෛද්‍ය විශේෂඥ, ශ්‍රී ලංකා ජාතික රෝහල