”සිගරට් නෝටි නම් එච්චර ලස්සන ඇයි අම්මේ? ”
තමන්ගේ දරුවගේ දියුණුව අනාගතය ගැන බොහොම සෞඛ්‍යමත්ව විද්‍යාත්මකව උනන්දු වන අම්මා කෙනෙකුට හරි අපූරු වැඩක් වුණා ළඟකදි. ඇය සුපර්මාර්කට් එකෙන් සැමියත් දරුවත් සමග බඩු අරගෙන එනකොටයි මේ වැඩේ වුණේ. බිල් ගෙවන්න සැමියා සැරසෙන අතරේ ඇය ටිකක් එහාට ගියා බඩුමලුත් අරගෙන.
නිකමට හැරිලා සැමියා හා දරුවා දෙස බලන කොටයි ඇයට මේ වැඩේ පෙනුණේ. ඇගේ පස් හැවිරිදි දරුවා අර මුදල් අයකැමි කාන්තාවගේ හිසට උඩින් තියෙන සිගරට් ප්‍රදර්ශණ පෙට්ටිය දෙස බලන් ඉන්නවා. ඔබත් දැකලා ඇතිනේ ලස්සනට සිගරට් පැකට් දාලා තියෙන පාට පාටට සරසලා තියෙන ඔය කියන ඩිප්ලේ එක.
බොහොම ඇල්මෙන් ඒ දෙස බලාන හිටිය දරුවාට ඇගේ සැමියාට ඇඟිල්ලෙන් අනින්න උණා “දැන් යං ” කියා දන්නන්න. ඉතිං ඉන් පසු තුන් දෙනාම වාහනය වෙත ඇවිදින්නට පටන් ගත්තා.
එතකොට මේ දරුවා මගේ මිතුරියගෙන් අහනවා : “අම්මේ ඒ සිගරට් පැකට් හරි ලස්සනයි නේ?”
“පුතා දන්නවනේ ඒ උණාට ඒවා නෝටි කියලා? මෝඩ අයනේ ඒවා බොන්නේ කියලා?” අම්මා ඔහුට දුන්න පිළිතුර.
“මං දන්නවා. ඒ උණාට ඒවා හරි ලස්සනයි.” ඔහුගේ හඬෙ පොඩි සැකයක් තියෙනවා වගේ. අම්මා ආයාසයෙන් කතා නොකර බැලුවා මෙයා ඊළඟට කියන්නේ මොකද්ද කියලා. ” ඒවා නෝටි නම් එව්වර ලස්සන ඇයි අම්මේ? “
ඒකට නම් මේ අම්මාට උත්තර නැතිව ගියා. එවර ඇය නිහඬව හිටියේ ඒ නිසයි.
“සිගරට් නෝටි කියලා අම්මා කිවුවේ ඇත්තද ?” ඒ පාර අහපු පැණයට නම් අම්මටයි තාත්තටයි දෙන්නට තරු විසි වුණා.
එතකොට තාත්තා හිමිහිට අම්මාට කතා කරලා කියනවා : “අර රූපමය අවවාද ආපුවාම නම් ඔය ඉලවු සිගරට් පැකට් ඩිප්ලේ අයින් කරන්න වෙයි නේද? බැලින්නම් මුන් මේවා දාලා තියෙන්නේ අපේ දරු පැටව් ටික අල්ල ගන්නනේ! සහ ගහනවා මුන්ට!! “

