ගංජා සමාගම් අධිපතියෙකුගේ ව්‍යවසායාත්මක සිතුවිලි සහ සැලසුම් මොනවාද?
– මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය
මෙය මගේ හිතේ නිතර නැගෙන පැණයකි. අද අපි එයට පිළිතුරු සොයමු. ඒ සඳහා අපි විශේෂ ක්‍රමවේදයක් යොදා ගමු. එනම් ඔබ/ මා ගංජා සමාගම් අධිපතියෙකු යැයි මොහතකට මවා ගමු. දැන් හිතන්න පටන් ගන්න.
මා ගංජා සමගම් අධිපතියෙකු නම් මට ඇති ලොකුම ප්‍රශ්ණය ආර්ථිකයට ඉතාම සුබදායක යැයි කියැවෙන සෞඛ්‍ය හානි අවම බව පෙනෙන ලංකාවේ අපට ඇති වත්මන් ගැටළුවලට දිව ඔසුවක් වෙන ගංජා තහනම් ඇයිද කියන උභතෝකෝටිකයයි. මීට වඩා දස ගුණයකින් සෞඛ්‍යයට හානිකර යැයි කියන රටේ ආර්ථිකය වට්ටනවා යැයි කියන දුම්කොළ සහ සිගරැට් ඕනෑම පෙට්ටි කඩයකින් මිළදී ගත හැකිය. එමෙන්ම දුම්කොළ ගංජා මෙන් නොව ඉතා සුලබව පාවිච්චි වන්නේය. ඇයිද ඒ? මෙම පැණයට පිළිතුරු ලැබුණොත් ගංජා ද දුම්කොළ තත්ත්වයට ගෙන ඒමට අපට පොටක් පාදා ගැනීමට බැරිවණු නොමැත. තව ගැඹුරට සිතමු.
මුලින්ම අප මතක් කර ගත යුත්තේ සෞඛයයට හා ආර්ථිකයට මෙතරම් හානිකර යැයි කියන දුම්කොළ භාවිතා කරන්නන් ලොවපුරා බිලියන 1.3ක් එනම් මිලියන/ දසලක්ෂ 1,300 ක් සිටිති (https://www.who.int/news-room/fact-sheets/detail/tobacco). නමුත් ගංජා භාවිතා කරන්නන් සිටින්නේ මිලියන 244ක් පමණි (https://www.unodc.org/documents/data-and-analysis/WDR_2025/WDR25_Special_points_of_interest.pdf). දිනපතා ගංජා භාවිතා කරන්නන් මීටත් වඩා බෙහෙවින් අඩුය. කෙසේ නමුත් දුම්කොළ භාවිතා කරන්නන් ගංජා භාවිතා කරන්නන් මෙන පස්ගුණයකටත් වඩා වැඩිය. වෙන වචන වලින් කියතොත් දුම්කොළ සමාගම් අපට වඩා පස්ගුණයකටත් වඩා ආදායම් ලබයි. තවත් විදියකට කිවහොත් අප ගංජා දුම්කොළ මට්ටමට ගෙන ගියහොත් අපගේ ආදායම් පස්ගුණයකටත් වඩා ඉහළ යනු ඇත. කොතරම් අගනා ඉලක්කම්ද මේ?
දුම්කොළ සමාගම් මේ අද්විතීය ස්ථානයට ලඟා වුණේ කෙසේද? දුම්කොළද කලක (නිදසුනක් ලෙස 19වන සියවසේදී ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල) තහනම් මත්ද්‍රව්‍යයකි; කාන්තාවන් අතර අතීතයේදී භාවිතයක් නොවූ විරූතරම්ය; දුම්කොළවල ඇති නිකොටීන් විෂක් හැටියට හංවඩු ගැසී තිබිණි. නමුත් දුම්කොළ සමාගම්වල අප්‍රතිහත උත්සාහය සහ මහ පරිමාණ මුදල් පොම්ප කිරීම නිසා ඔවුනට මේ තත්ත්වය වඩා සුබදායක අතකට හරවා ගැනීමට හැකිවිය. ඇමරිකාවේ දුම්කොළ තහනම ක්‍රමයෙන් ඉවත් විය; 1960 ගණන්වල වෛද්‍යවරුන් දුම්කොළ සහ සිගරැට් සෞඛ්‍යයට, විශේෂයෙන්ම උගුරට, හොඳ බැව් පැවසූහ; උග්‍ර විෂ නිකොටීන් ඖෂධයක් ලෙස නම් කෙරුණි; සිගරැට්ටුවක් කටේ රුවා ගැනීම කාන්තා විමුක්තියේ හා විප්ලවකාරී නිදහසේ සංකේතයක් බවට පත්විය. මේ සියල්ල නිකං සිදුවුණේ නැත. දුම්කොළ සමාගම් විසාල මුදල් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් පගා, තර්ජන, විශේෂඥ ගාස්තු, මාධ්‍ය ආයෝජන ආදී ලෙස වියදම් කරන්නට යෙදුණි. නමුත් එයින් ඔවුන් ලැබූ ජය කොතරම්ද? මේවන විට මේ ජයග්‍රාහී ව්‍යවසාකත්ව මෙහෙයුම මදක් අන් අතකට යොමුවෙමින් පැවතියත් තවමත් ලෝක ජනයාගෙන් බිලියන 1.3ක් දුම්කොළ භාවිත කරති. දුම්කොළ හරාම් කියන මුස්ලිම් රටවලත් දුම්කොල සමාගම් මෙම සුවිසාල ජයග්‍රහණ අත් කරගෙන සිටියි. රටපුරා දුම්කොළ තහනම් කළ එකම රට වන භූතානයටත් බලපෑම් එල්ල කොට තහනම් වෙනස් කරගැන්මට ඔවුන්ගේ මුදල් වලට හැකිවිය. හිත ඇත්නම් – සමාවන්න – ඩොලර් ඇත්නම් පත කුඩාද?
මුලින්ම අප මේ ගංජා තහනම ඉවත් කරගත යුතුයි. නමුත් එය ලෙහෙසි නැත. මන්ද සාමාන්‍ය ජනතාවගේ මෙන්ම නීති ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙ සහ නිළධාරින්ගෙ මනසේ තවමත් ගංජා පැළපදියම් වී ඇත්තේ හානිකර නොපිළිගත යුතු දෙයක් ලෙසිනි. ඊටත් වඩා මෙතැනදී අපට වැදගත් වන්නේ ඔවුන් ගංජා භාවිතය අසීලාචාර, දුර්දාන්ත, ප්‍රසිද්දියේ කිව නොහැකි දෙයක් ලෙස දැකීමයි. හිතන්න – කෙනෙකු තමන්ගේ පවුලේ අයෙකු සිගරට් උරන්නේ නම් හෝ මද්‍යසාර භාවිතා කරන්නේනම් ඒ ගැන අන් අය ඉන්න තැනක කතා කරන්න වුණොත් යම් ලජ්ජාවකින් වුණත් ඒ බව පවසනු ඇති. නමුත් පවුලේ කෙනෙකු ගංජා භාවිත කරන්නේ නම් ඔවුන් එය රහස් හඬකින් පවසනු ඇත; නැතිනම් එය සඟවනු ඇත. මුලින්ම සිදු විය යුත්තේ මෙම මහා මානසික බාධාව සුනුවිසුණු කිරීමය.
දැන් අපට පොටක් පෑදී ගෙන එයි. ගංජා තහනම දැන්ම ඉවත් කළ යුතු නැත. ඒ ගැන අප කතා කිරීමත් අනවශ්‍යයි. ගංජා යනු තව දුරටත් රහස් හඬින් කතා කරන දෙයක් නොවන තැනට අප දැන් වැඩ කරමු. මේ සඳහා අපට යෙදවීමට සිදු වෙන පගා, තර්ජන, විශේෂඥ ගාස්තු, මාධ්‍ය ආයෝජන ආදිය නාස්තියක් නොව ව්‍යවාසායක ආයෝජනයකි; මතු අප ලැබීමට නියමිත පස් ගුණයකටත් වඩා වැඩි වන ආදායමෙන් සොච්චමකි. පසුකලෙක තහනම ඉවත් කරවාගෙන දුම්කොළ මට්ටමට ජනගත කරගැනීම අපහසුවනු නැත. හිත ඇත්නම් – සමාවන්න – ඩොලර් ඇත්නම් පත කුඩාද?
අපගේ සිතුවිලි සහ සැලසුම් කොතරම් අගනේද? දුම්කොළ සමාගම් ලද (දැන්නම් එය ආපසු හැරීමට පටන් ගෙන ඇතිමුත්) සාර්ථකත්වය අධ්‍යයනය කිරීම හරහා අප අපේ සිතුවිලි හා සැලසුම් සකස් කර ගත් හැටි කොතරම් අගනේද? බලන්න ඩොලර් වලින් පෙරවනු ලැබූ reverse engineering යනු කෙතරම් බලගතු අවියක්ද කියා. මෙන්න අපි ගියා!
ඉතින් ඔන්න ‘ගංජා සමාගම් අධිපතියෙකුගේ ව්‍යවසායාත්මක සිතුවිලි සහ සැලසුම් මොනවාද?’ යන පැණයට අපට පිළිතුරක් ලැබුණා. තව එක දෙයක් මතක් කරන්න ඕනා. ටිකෙන් ටික ලාබ ආදායම් අඩුවෙන දුම්කොළ සමාගම් ඉතා වේගයෙන් ගංජා ව්‍යාපාරයට අත ගසමින් සිටියි. ඒ අනුව ඉහත සිතුවිලි සහ සැලසුම් ඔවුන්ගේ ජීවිතවලට වඩාත් සමීප එමෙන්ම ඔවුනට ප්‍රායෝගකව ක්‍රියාත්මක කළ හැක වන බව ඒවා අපට අනුමාන කළ හැකියි. මන්ද දුම්කොළ සාමාගම් ඉතිහාසය තුළ කළ හරිය ඔවුහු තම අත්දැකීමෙන්ම දනිති. එසේම මතුවට ලාබ ලැබෙන දුම්කොලවලට යම් තරමකට සමාන නිෂ්පාදනයක් වන ගංජාවලට මාරුවීම ඉතා ප්‍රායෝගික ව්‍යවසායක සැලසුමකි.
මේ සඳහා වැදගත් පියවරක් දැනටමත් ඔවුන් ලංකාව තුළ සාක්ෂාත් කරගෙන සිටිති. එනම් රජය මුල්වී අපනයනයට ගංජා වගා කිරීමයි. අප මනස තුළ මතුවට ගංජා සාමාන්‍යකරණය කිරීමටත් ගංජා දුම්කොළ මට්ටමට ජනගත කිරීමටත් ඔවුන් ඉතා වැදගත් මුල් පියවරක් ගෙන ඇත. මේ සඳහා පගා, තර්ජන, විශේෂඥ ගාස්තු, මාධ්‍ය ආයෝජන ආදී වශයෙන් වියදම් කළ ඩොලර් මිලියන කිහිපය ගැන ඔවුහු මදකදු දුක් නොවෙති. දැනටමත් මෙහි ප්‍රතිපල අපට පෙනෙන්නට ඇත. රජයේ මෙම සැලසුම කැබිනට් ප්‍රකාශක ගරු අමාත්‍ය නලින්ද ජයතිස්ස හෙළි කලේ ගංජා වෙනුවට කංසා යන වදන භාවිතා කරමින් ඉතාම සුබදායක සිනහමුසු ඉරියවුවකිනි.
හිත ඇත්නම් – සමාවන්න – ඩොලර් ඇත්නම්, පත කුඩාද?
සැ:යු: ගංජා යනු හානිකර මත්ද්‍රව්‍යයක් යන්න අවිවාදාත්මකය. බොහො දෙනා නොදන්නා වුවත් ගංජා නිසා ළමුන්ගෙ/ තරුණ ප්‍රජාවේ බුද්ධි මට්ටම හීන වෙයි; භින්නෝන්මාදය වැනි මානසික රෝග ඇතිවෙයි; වෘෂණ පිළිකා ආදී පිළිකාවලට මුල වෙයි. දුම්කොළ වලින් වෙන හානි මෙන්ම ගංජා නිසා සිදුවන සෞඛ්‍ය හානි ද ඉතා දරුණුය. ගංජා නිසා ගොඩගිය තුන්වන ලෝකයේ කිසුදු රටක් නොමැතිය. ආර්ථිකය ගොඩ දැමිය හැකිය යනුවෙන් ගංජා වගාව පටන් ගත් කිසිම තුන්වන ලෝකයේ රටක ආර්ථිකයට සිදුවුණ සෙතක් නොමැත. කැනඩාව වැනි රටවලද ගංජා සමාගම් ගජරාමෙට දැන් පාඩු ලබයි.

