සාංකාව නෙවෙයි – කාංසාව: දන්නවද ඒ මොකද්ද කියලා

සාංකාව නෙවෙයි – කාංසාව: දන්නවද ඒ මොකද්ද කියලා?

කාංසාව යනු මනෝ රෝගයක් නෙවෙයි. කාංසාව කියන්නේ භාවමය තත්වයක් නිසා. හිතට ඇතිවන තත්වයක්. අපි පොඩි කතන්දරයක් ගමු කාංසාව පැහැදිලි කර ගැනුමට.
හිතන්න කුමුදුනී කියලා තරුණියක් ගැන. ඇය රැකියා සම්මුඛ පරීක්ෂණයකට ලැහැස්ති වෙමිනුයි ඉන්නේ. මේ රැකියාව බොහොම අපූරු එකක්. හැබැයි ඒ වගේම තේරෙන්නත් ලෙහෙසි නැහැ. ලොකු තරඟයක් දෙන්න වෙනවා. සම්මුඛ පරීක්ෂණය ගැන හිතන හැම විටම කුමුදුනිට බයක් දැනෙනවා.
දැන් ඔන්න ඇය පරීක්ෂණය පටන් ගන්න තෙක් එළියේ කාමරයකට වී බලන් ඉන්නවා. දැන් දැන් ඇයට තම හදවත වේගයෙන් ගැහෙනවා දැනෙනවා. සම්මුඛ පරීක්ෂණයට පෙරහුරු ලෙස ලැහැස්ති වුණු කිසිවක් ඇයට දැන් මතක් වෙන්නේ නැහැ. මෙන්න මේ මනෝ සොබාවයට තමයි කාංසාව කියා කියන්නේ.

ප්‍රශ්ණය: එතකොට අපට කාංසාව දැනෙන්නේ සම්මුඛ පරීක්ෂණයකට කලින් වගේ අවස්ථාවල පමණද?

පිළිතුර: නෑ, එහෙම නෙමෙයි. කුමුදුනී සම්මුඛ පරීක්ෂණය ගැන සිතන විටත් ඇයට කාංසාව දැනුණා. මේ තරම්ම නොවුණට කාංසාව හැම කෙනාටම නිතරම ඇතිවන ලෝක ධර්මතාවයක් අපට දස්කම් පෙන්වීමට සිදු වන ඕනෑම විටක අපට කාංසාව දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ විබාග, සම්මුඛ පරීක්ෂණ, ක්‍රීඩා ඉසවු වැනි ඔනෑම දෙයක්. ඒ විතරක් නොවෙයි, සාදයකදී හෝ රෑ කෑමකදී අන් අය හා සතුටු සාමීචියේ යෙදීමත් සමහරවිට කාංසාව ගෙන දෙන දේ වෙන්න පුළුවනි.
අනියත බව දැනුණු සැණින් අපට කාංසාව දැනෙනවා. වෙසෙසින්ම අපට අදරැති කෙනෙකු හෝ වැදගත් දෙයක් හෝ අපට අහිමි වෙයිදෝ යන අවදානම සමග අපට එන්නේ කාංසාව. හොඳ උදාහරණයක් තමයි අපගේ දරුවකු අසනීප වීම.

ප්‍රශ්ණය: මං හිතන්නේ කාංසාව ගැන මූලික අදහසක් අපට එනවා දැන් දැන්. අප බලමුද මේ කාංසාවේ ලකුණු මොනවාද කියා?

පිළිතුර: හරි. අප දැනටම දන්නවා වේගයෙන් පපුව ගැහීම, බියක් දැනීම, මොකුත් මතක නැහැ වගේ දැනීම නැතිනම් පැහැදිලිව හිතන්න බැහැ වගේ දැනීම කියන මේ ලකුණු කාංසාවේ ලකුණු කියා. මේ මම ඔබට දෙන වගුවේ තවත් ලකුණු ලැයිස්තුගත කර තිබෙනවා.

කාංසාවේ සමහර ලකුණු

ඔබ කාංසාවෙන් පෙළෙන බොහෝ විට මේ දක්වා ඇති ලකුණු සමහරක් දැනෙන්නට පුළුවනි. බාග විට කාංසාව හැර වෙනත් තත්වයක් නිසාත් මේ සමහර ලකුණු මතු වීමට පුළුවනි.

  • වේගයෙන් ගැහෙන හදවත / පපුව ඩිග් ඩිග් ගෑම.
  • යමක් ගැන බිය වීම හෝ වද වීම.
  • හොඳින් දැන සිටි දේ සිහි කර ගන්න බැරි වීම.
  • සාමාන්‍යයෙන් සිතන ලෙස පැහැදිලි ලෙස සිතීමට බැරි වීම.
  • ඉක්මණින් හා බාගෙට හුස්ම ගැනීම. මෙය හතිය හෝ හුස්ම හිරවීම ලෙස ඔබට දැනිය හැක.
  • ඔළුව කැක්කුම හෝ ඔළුව කරකැවීම/ තෝන්තු ගතිය.
  • සිරුරේ වෙනත් නොයෙකුත් වාත, කැක්කුම්, වේදනා.
  • හදිසියේම නොසිතූ ලෙස වැසිකිළි යාමේ වුවමනාව පහළ වීම.
  • අවධානය විසිරීම නිසා මතකය දුබල වීම.
  • අයුතු ලෙස දහඩිය දැමීම.
  • සිරුර, වෙසෙසින්ම මුහුණ, රත් වී ගියා සේ දැනීම. ඔබ පැහැපත් කෙනෙකු නම් මුහුණ රතු (ඇත්තටම රෝස පැහැ) වී යා හැක.
  • බඩ තුළ අපහසුවක් දැනීම හෝ උගුරේ යමක් හිර වූවා සේ දැනීම.
  • සාමාන්‍යයෙන් නැති කළ බලයක් නිසා ඔබේ කය, වචනය අමුතු වීම: ගොත ගැසීම, අත පය දරදඬු ලෙස ක්‍රියාත්මක වීම, ජංගම දුරකතනය සමග හේතුවක් නැතිව ඔට්ටු වීම.

ප්‍රශ්ණය: මේ වගුව නම් මගේ ලඟ තබා ගෙන නැවත නැවත බලන්න ඕන කියලා හිතෙනවා. එතකොට මේ ආතතිය හෙවත් tension කියන්නෙත් මේ වගේ ලකුණු වලට නේද?

පිළිතුර: බොහෝ දුරට ලිහිල්ව ගත්තොත් ආතතිය කියන්නේ කාංසාවම තමයි. තව ටිකක් මේ ලිහිල් පදය පැහැදිලි තේරුමක් ඇති වදනක් බවට හැරෙවුවොත් අපට මෙයට මේ තේරුම දෙන්න පුළුවන්. ඉහත වගුවේ අවසන් ලකුණ
දෙස බලන්න. එහිදී අප සිරුරේ සිදුවන වෙනස්කම තමයි අපගේ මාංශ පේෂී වල තානය වැඩි විම. එවිට අත පය මදක් දර දඬු වෙනවා. ටිකක් වෙවුලන්නත් පුළුවන්. මේ තත්වය පමණක් අපට කැමති නම් ආතතිය කියන වදනින් හඟවන්න පුළුවන්. එවිට ආතතිය කියන්නේ කාංසාවේ ලකුණක්; නැතිනම් ලකුණු කිහිපයක් එකතුවක්.

ප්‍රශ්ණය: ඒකත් දැන් පැහැදිලියි. එතකොට කාංසාව හා ආතතිය කියන්නේ අපේ ජීවිතයට වදයක් නේද?

පිළිතුර: නැහැ. හැමවිටම නෙමෙයි. දැන් බලන්න කාංසාව ඇත්තෙම නැතිනම් වෙන දෙය. අපි එතකොට විබාගයකට ලෑස්ති වීම අත හැර දමයි; වෙනත් ජීවිතයේ එවැනි ගොඩක් දේ නොකර ඉඳියි. ඇත්තටම කාංසාව කියන්නේ ජිවිතයේ වැදගත් ගාමක බලවේගයක්.
නමුත් විටක එය අපට කරදරයක්. දැන් බලන්න කුමුදුනීගේ සම්මුඛ පරීක්ෂණය දෙස. ඇය ඇත්තටම මෙයින් අසමත් වෙන්න පුළුවනි කාංසාව නිසා. ඒ කියන්නේ සමහර ප්‍රශ්ණ වලට ඇයට හරියට පිළිතුරු දීමට බැරි වෙනවා ඇගේ අදක්සකම නිසා නොවේ – කාංසාව නිසා. පරීක්ෂණය අවසන් වූ පසු ඇයට හිතෙනවා අපරාදේ මට ඒ ප්‍රශ්ණ ඔක්කොටම උත්තර දෙන්න තිබුණානේ මීට වැඩිය ගොඩක් හොඳට කියලා.
දැන් මම ඔබට දෙන මේ වගුවේ උදාහරණ එක්ක තියෙනවා කොහොමද කාංසාව අපට කරදරයක් වෙන්නේ කියලා.

කාංසාව අපට කරදරයක් වන හැටි

  • මහත් වූ කාංසාව / පාලනය කරගත නොහැකි කාංසාව
    • සම්මුඛ පරීක්ෂණයකදී හෝ විබාගයකදී ඇතිවන අධික කාංසාව සමග දස්කම් හරි හැටි පෙන්වීමට බැරි වීම,
  • අනිසි තැන හෝ අනිසි කල ඇතිවන කාංසාව
    • කැරපොත්තෙකු, පණුවෙකු, මකුළුවෙකු, ලේ, පිහියක් හෝ විශේෂයෙන් හානිදායක නැති යමක් දැක්ක විට ඇතිවන අනියත කාංසාව.
  • අනිසි තැන/ කල ඇතිවන මහත් වූ කාංසාව
    • හදිසියේම හිතාගත නොහැකි හේතුවක් නිසා ඇතිවන අධික කාංසාව, සමහරවිට කෙනෙකු බසයේ ගමන් කරමින් සිටින විට ඇතිවන අධික කාංසාව.
  • සමාජය ඉදිරියේ ඇතිවන මහත් වූ කාංසාව
    • පිරිසක්/ කෙනෙකු ඉදිරියේ යමක් කිරීමට සිදු වූ විට, එනම් කතාවක් පැවැත්වීම, අමුත්තෙකු/ අමුත්තියක සමග සුභද කතාව, බැංකුවකට යාම වැනි අවස්ථාවලදී ඇතිවන මහත් වූ කාංසාව,
  • හදිසි කායික රෝග තත්වයක් සේ මතුවන කාංසාව
    • මහත් වූ කායික රෝග ලකුණු සමග එන අධි තීව්‍ර කාංසාව හෙවත් පැනින් ඇටූත් (panic attack). මෙහිදී එම පුද්ගලයාට තමාට හෘදයාබාධයක් ඇතිවුණු ඇති වීමට යන බව, හුස්ම හිරවීමට යන බව හෝ තමා මියයාමට ආසන්න බව දැනෙන්නට හැක.
  • යම් කාල සීමාවක් තිස්සේ ඇති කායික රෝගයක් සේ මතුවන කාංසාව
    • නිතර නොයෙක් වෛද්‍යවරුන් හමු වීමට සිදුවන, දිනපතා වැඩ වලට පාඩුවන, නොයෙක් ආකාරයේ වාත, කැක්කුම්, වේදනා. මේ සමග යම් විශේෂ රෝග ගැන බියක් තිබීමටත් පුළුවන.
  • හැමවිට පවතින කාංසාව හෙවත් නොනිමි කාංසාව
    • දවස පුරා පවතින අධික කාංසාව; හැම පොඩි දෙය ගැනම වද වෙමින් නිතර කාංසාවෙන් පෙළෙයි.

කාංසාව අපට කරදරයක් නොවන විදියට පාලනය කිරීමේ ක්‍රම තියෙනවා. ඒ ගැන මතුවට බලමු.

බෞද්ධ ඉගැන්වීම් අනුව අපේ සිතේ ඇතිවන නොයෙකුත් දුක්ක දෝමනස්සයන් ගැන සඳහන් වෙනවා. මේ කාංසාව ගැන විය හැකියි. මෙය නැති කිරීමේ මග ගැනත් බුදු දහමේ ඉගැන් වෙනවා.

බුදු දහමේ ඉගැන්වෙන සම්මා සතිය යනු කාංසාව අඩු කර ගැනීමේ පලදායී ක්‍රම වේදයක්, තමන්ගේ සිතුවිලි සහ මනෝ සොබාවය ගැන දැනුවත් වීම ඉතා වැදගත් අපට ඇතිවන සිතුවිලි දැනෙන හැඟීම් අපට පෙනෙනවා නම් ජීවිතය ගෙන යාම වඩා පහසු වෙනවා. එවිට අපට කාංසාව ඇති වූ විට මේ මට කාංසාව ඇති වී යැයි තේරුම් ගත හැක. එතකොට මගේ මේ පපුව ඩිග් ඩිග් ගාන්නේ හෘදයාබාධයක් නිසා නොව කාංසාව නිසාම යැයි තේරුම් ගත හැක. එවිට අපගේ කාංසාව අඩු වී යයි. ජීවිතයට මුහුණ දීම සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීම ගැටළු වලට මුහුණ දීම වඩා පහසු වෙයි.