මොකද්ද මේ අධි තීව්‍ර කාංසාව හෙවත් පැනික් ඇටෑක්

Panic disorder panic attack

මොකද්ද මේ අධි තීව්‍ර කාංසාව හෙවත් පැනික් ඇටැක් (panic attack)?

සිරිමාන්න මහත්මිය දියවැඩියාව රෝගයෙන් කලක් තිස්සේ පෙළුනත් නිස කලට නිසි ලෙස ප්‍රතිකාර ගෙන හොඳ නිරෝගි දිවියක් ගෙවන, ගමේත් පන්සලේත් වැඩ වලදී මුල් තැන ගන්නා වූ විශ්‍රාමික ගුරුවරියක්. දිනක් ඇයට හදිසියේම පපුවේ වේදනාවක් ඇති වුණා. මීට කලින් මෙහෙම වෙලා නැති නිසාත් දියවැඩියාව ඇති අයට පපුවේ අමාරු එන්න ඉඩ වැඩියැයි අසා ඇති නිසාත් ඇය ටිකක් කලබල වුණා. ඇය මේ ගැන තම සැමියා සමග පැවසූ ගමන් ඔහු ඇයටත් වැඩිය කලබල වුණා. ගෙදර වෙන කෙනෙකුත් නැති නිසා ඔහු දුරකතන පණිවුඩයක් දුන්න අසල පදිංචි පුතාට මේ ගැන.

මේ අතර සිරිමාන්න මහත්මියගේ පපුවේ වේදනාව එක විටම වැඩි වුණා. හතියකුත් ආවා. හොඳටම දාඩිය දාන්න ගත්තා. ඇයට බය වැඩි කමට කතා කරගන්නත් බැහැ. සිරිමාන්න මහතාට මොකක් කරගන්නද යැයි හිතා ගන්නත් බැහැ. එතකොටම පුතා තම ත්‍රීරෝද රියෙන් එතැනට ආවා. දෙදෙනාම එක්ව සිරිමාන්න මහත්මිය ඔසවාගෙන රියට දමා රෝහලට පිම්මේ රැගෙන ගියා.

ඔක්සිජන් සේලයින් ඊසීජි පිරික්සුම ඇතුළු හැම දෙයක්ම ඉක්මණට කෙරුණා. විනාඩි ගණනක් යන කොට පපුවේ කැක්කුම හොඳටම අඩු වුණා. පපුවේ අමාරුවක් ඊසීජියෙන් පෙන්වන්නේ නැති බව වෛද්‍යවරු පැවසුවා. දින දෙකකට පසුව රෝහලෙන් ඇයව පිටත් කරා. මරණය ලඟටම ගොස් නැවත ගොඩ ආ බවයි සිරිමාන්න මහත්මියටත් පවුලේ අයටත් දැනුණේ.

ගෙදර ඇවිත් හොඳට හිටි සිරිමාන්න මහත්මියට සති දෙකකට පස්සේ අර විදියටම නැවත අමාරු වුණා. නැවත ඒ විදියටම රෝහලට ගෙනිහින් ප්‍රතිකාර කලා. මෙවරත් පපුවේ අමාරුවක් නැති බව තමයි කීවේ. මෙවර ගියවරටත් වඩා කල් වාට්ටුවේ තියාගෙන වෛද්‍යවරු නොයෙකුත් පරීක්ෂණ කලා.
දැන් දැන් මාසයකට වතාවක් හෝ දෙවතාවක් ඇය මේ ලෙස රෝහල්ගත වෙනවා. ඊට අමතරව තව දෙතුන් වතාවක් එකවරම ඇතිවන පපුවේ කැක්කුම සමග පවුලේ වෛද්‍යවරයා වෙත රැගෙන යනවා. එතනදී ඊසිජියක් කරන අතරේ කැක්කුම අඩු වෙලා යනවා.

සිරිමාන්න මහත්මිය දැන් ගමනක් යන්නත් බයයි. මගදී අමාරු වෙයි කියලා. පන්සලට යන්නෙත් නැහැ පඩි නගින්න බයයි කියලා. අමාරු නැති විටත් නිතර සැමියා සමග කියන්නේ ‘ මට කොයි වෙලාවේ අමාරු වෙයිද බයයි’ යනුවෙනුයි. විශේෂ හෘද රෝගයක් පෙනෙන්ට නැති වුණත් සිරිමාන්න මහත්මිය දැන් හොඳටම ලෙඩ වෙලා. ජීවිතයම වෙනස් වෙලා.

ඉතින් සිරිමාන්න මහත්මියට මේ මොකක්ද වෙලා තියෙන්නේ?

සිරිමාන්න මහත්මියට හැදෙන මේ ‘ පපුවේ අමාරුව’ ට කියන්නේ අධි තීව්‍ර කාංසාව හෙවත් පැනික් ඇටැක් (panic attack) එකක් කියලා. සමහර අයට ඉඳ හිට පැනික් ඇටැක් එකක් එන්න පුළුවන්. ඒත් සිරිමාන්න මහත්මියට වගේ නැවත නැවත එම තත්වය එනවා නම් එයට කියනවා පැනික් ඩිඕඩර් (panic disorder) හෙවත් අධි තීව්‍ර කාංසා රෝගය කියලා.

එතකොට සිරිමාන්න මහත්මියට හැදෙන මේ පැනික් ඇටැක් හෙවත් අධි තීව්‍ර කාංසාවේ ලකුණු නැවත විමසා බලමු:

  • පපුවේ වේදනා, ඔළුවේ කැරකැවීම් වැනි නොයෙකුත් කායික රෝග ලකුණු
  • පාලනයෙන් තොර නොසන්සුන් බව සමග එන අධික කාංසාව
  • තමාට හෘදයාබාධයක් ඇතිවුණු ඇති වීමට යන බව, හුස්ම හිරවීමට යන බව
  • තමා මියයාමට / අසනීප වීමට / සිහිසුන් වීමට/ සිහි විකල් වීමට ආසන්න යැයි දැනෙන බිය

දැන් සිරිමාන්න මහත්මියට ඇති පැනික් ඩිඕඩර් (panic disorder) හෙවත් අධි තීව්‍ර කාංසා රෝගය නැවත විමසා බලමු:

  • නැවත නැවත එන අධි තීව්‍ර කාංසාව හෙවත් පැනික් ඇටැක් (panic attack)
  • එම තත්වය සමනය වුණු පසු බොහෝ විට රෝග ලකුණු නැතව සාමාන්‍ය ලෙස සිටීම
  • නමුත් නැවත එම තත්වය ඇති වේදැයි එන බිය/ කාංසාව

මෙම රෝග තත්වය සුව කළ හැකි රෝගය කි.