මහන්සිය, කෙඩෙත්තුව, කළ කිරීම සහ එපා වීම – මේ විෂාද රෝගය ද?
මනෝ වෛද්‍ය විශේෂඥ සුනීතා ගලප්පත්තිගේ ලිපියක් පාදක කොටගෙන මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය හා සාකච්ඡා කොට සැකසුණි.
අවිචාරශීලී මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට “නුඹට පිස්සුදැ” යි අපෙන් කෙනෙකු අසනු ඇත. මේ අනුව ‘පිස්සුව’ යනු අවිචාරශීලී මෝඩකම යි. මෙය අප හැම තුළම විටෙක දක්නට ඇත. නමුත් මානසික රෝග යනු වෙනත් එකකි. ඇත්තටම එකක් නොව මානසික රෝග රාශියක් ඇත. සමහරක් නැවත නැවත ඇතිවන රෝග වන අතර සමහරක් එසේ නොමැති ඒවා ය. මේ වෑයම ඉන් එකක් වන විශාදය ගැන ඔබට යමක් කීම යි.
ප්‍රශ්ණ සහ අවාසනාවන්ත සිදුවීම් යනු මිනිස් ජිවිතයේ කොටසකි. සෑම කෙනෙකුටම අසතුටු දායක සිදුවීම් වලට මුහුණ දීමට සිදු වන අතර, තාවකාලික වශයෙන් දුක් මුසු භාවයට පත් විය හැක. ජිවිතයේ මුහුණ දීමට සිදුවන පැරදීම් වලදී මිනිසුන් තාවකාලික වශයෙන් තමාටම දොස් කියා ගැනීම, දුක්මුසු භාවයක් හෝ හිස් බවක් දැනීම ස්වභාවිකය. එම හැඟීම් ටික කාලයකදි මඟ හැරියයි. නමුත් විශාදය නමැති රෝග තත්වය ඇති වු විට ඉහත දැක්වු ලක්ෂණ ඉතා තදින් හා වැඩි කාලයක් පවතී. මෙවැනි පීඩාකාරි සිතුවිලි ඔහුගේ/ ඇයගේ රැකියාව, පවුල් ජිවිතය හෝ ඉගෙනීම් කටයුතු වලට බාධාවක් වේ. එසේම විශාදය නිසා කෙනෙකුගේ සිතුවිලි හැසිරීම් පමණක් නොව ශාරීරික ක්‍රියාකාරකම් පවා වෙනස් විය හැක.
ඒවායෙන් සමහරක් පහත දැක්වේ.
- තමා අසරණ, කිසිම අනාගතයක් නැති, වැදගැන්මක් නැති කෙනෙකු සේ සිතීම/ දැනීම
- නිසි ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නිදා ගැනීම
- තීරණ ගැනීමේ හෝ යමක් කෙරෙහි අවධානය යොමු කිරීමේ අපහසුවග
- එදිනෙදා වැඩ කටයුතු සඳහා ඇති උනන්දුව අඩු වීම
- ලිංගික ජීවිතය ගැන උනන්දුව අඩු වීම
- අන් අයගෙන් ඈත් වීමට තැත් කිරීම
- ඉතා තදින් ඇති වන කල්පවතින දුක්මුසු භාවය
- හේතුවක් නැතිව හෝ ඉතා සුළු දේවල් මත හෝ තමා වැරදි කාරයෙකු යැයි සිතීම
- ඉතා තදින් මහන්සිය දැනීම හෝ තමාගේ ඇගේ ශක්තිය අඩු සේ දැනීම
- මරණය ගැන නිතර සිතීම
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු ඉහත සඳහන් ලක්ෂණ වලින් කිහිපයක් පෙන්නුම් කරයි නම් මෙම විස්තරය ඔබට ප්‍රයෝජනවත් වේයැයි සිතමු.
විශාදය ඇති වීමට හේතු මොනවාද?
විශාදය ඇති වීමට හේතුව සරළව පැහැදිලි කිරීම අපහසුය. නමුත් පහත සඳහන් එක් සාධකයක් හෝ වැඩි ගණනක් යමෙකු තුල විශාදය ඇතිවීම සඳහා හේතු වූවා විය හැක.
- පාරම්පරික නැඹුරුතාවය හෙවත් ජානමය බලපෑම
- පුද්ගලයා ලොව දකින ස්වභාවය. උදාහරණයක් ලෙස හැම දෙයක්ම සර්වව සම්පූර්ණ ලෙස සිදු විය යුතුයැයි යන මතයේ සිටීම
- විශේෂිත වු අසහනකාරි සිදුවීම්
- කල් පවතින පීඩාකාරි තත්ව උදා. බීමත් සැමියෙකු සිටීම
විශාදය කොපමන කාලයක් පවතීද ?
විශාදය මාස 06 ක් – අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැක. නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතහොත් මෙම රෝග ලක්ෂණ ඊට අඩු කාලයකින් සුවකර ගත හැක.
විශාදය සහ ජිවිතයේ සාමාන්‍ය දුක අතර වෙනස කුමක්ද?
කෙනෙකුට ඇත්තේ විෂාදය නම් රෝග ලක්ෂණ (උදා- දුක්මුසු ස්වභාවය, විඩාබර ගතිය) දවස පුරා දිනපතා කාලයක් තිස්සේ පවතියි. සතුට ගෙන දෙන දෙයකට මුහුණ දුන්නද රෝග ලක්ෂණ පහව නොයයි. විෂාදයට හේතු වූයේ යම් සිද්ධියක්ද (උදා: පවුලෙන් වෙන් වීමට සිදු වීම) එම සිද්ධිය ආපස්සට හැරවූවත් (උදා: නැවත පවුල සමග එක් වීමට ලැබීම) රෝග ලක්ෂණ එකවර පහව නොයයි. එසේම විෂාදය ඇති වන්නේද එකවර නොව, ක්‍රම ක්‍රමයෙන්ය.
ප්‍රතිකාර ලබා සුව වූ පසු නැවත විශාදය ඇති විය හැකිද?
විශාදය රෝගය ප්‍රතිකාර මඟින් සුව වුවත් සමරහ අයට නැවත විශාදය ඇති විය හැක. එබැවින් වෛද්‍යවරයා සමග කතා නොකර ප්‍රතිකාර නතර නොකළ යුතුය.
විශාදයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
විශාදය බොහෝ දුරට සුවකළ හැකි රෝගයක් ලෙස සැළකෙයි. විශාදය සඳහා ප්‍රතිකාර වන්නේ ඖෂධ වර්ග හෝ මනෝ ප්‍රතිකාරය යි. එසේ නැතිනම් ඖෂධ හෝ මනෝ ප්‍රතිකාරය යන දෙකම යොදා ගත හැක. නමුත් අවාසනාවන්ත තත්වය වන්නේ විශාදය ඇති බොහෝ අය ප්‍රතිකාර ලබා නොගැනීම නිසා රෝගය උත්සන්න වී රැකියාව අහිමිවීම හෝ ඊටත් වඩා බරපතළ හානි සිදුවීමයි. මෙයට එක් හේතුවක් වන්නේ සමාජයේ මානසික රෝග ගැන ඇති වැරදි ආකල්ප සහ දුර්වල අවබෝධයයි. එසේම මානසික රෝග සඳහා ප්‍රතිකාර ඇති බව නොදැනීමයි.
පවුලේ අය හා හිතමිතුරන් වශයෙන් ඔබට කළ හැක්කේ කුමක්ද?
ඉතා තදින් විශාදය ඇති අයෙකු සමඟ ජිවත් වීම හෝ උදව් කිරීමට යෑම අපහසු විය හැක. මක්නිසාදයත් විශාදය නිසා ඔහු හෝ ඇය නිතරම සමාජයෙන් අයින් වීමට තැත් කරන බැවිනි. නැතහොත් නිතර නොරිස්සීමෙන් සිටින බැවිනි. එසේම ඔවුන් තමාට මානසික රෝගයක් ඇතැයි පිලිගැනීමට අකමැති වනු ඇත.
ඔහු/ ඇය පවුලේ වෛද්‍යවරයා වෙත එක්ක යන්න උත්සාහ කරන්න. සමහර විට ඔහුට/ ඇයට මෙම ලිපිය පෙන්වීම ප්‍රයෝජනවත් විය හැක.
බුදු දහම හා විෂාදය
විෂාදය නිසා ලෝකය හා තමන්වම එපා වූ කෙනෙකු පලා යෑමේ විදියක් ලෙස මහණ වීමට තැත් කිරීම සමහර විට දක්නට ලැබේ. විෂාදය සුව වූ විට මහණකම එම පුද්ගලයාට එපා වෙයි.
බෝධි සත්වයන් හා තවත් අය සසර කළ කිරී මහණ වූ වග පොත පතේ සඳහන් වෙයි. මෙම කළ කිරීම විෂාදය නොවෙයි. එය ඇත්ත ඇති සැටියෙන් දැකීම නිසා සමාජ සම්මත පුහු ජීවිතය ගැන ඇතිවන කළ කිරීමකි. මේ දෙක පටළවා ගැනීම නිස සමහර අය විෂාදයට විසඳුම බුදු දහම යැයි සිතති.
බුදුරජාණන් වහන්සේ යමෙකුට බඩගින්නක් හෝ අසනීපයක් ඇත්තේ නම් බඩ පුරවාගෙන හා අසනීපය සුව කරගෙන දහම් ඇසීමට එන ලෙස වදාළ බවක් අසා ඇත. ඒ අනුව විෂාදය සුව කරගෙන ඉන් පසු තව දුරටත් අවශ්‍ය නම් පමණක් මහණ වීම වරදක් නොවෙයි.
බුදු දහමේ ඉගැන්වීම් අනුගමනය කරන විට විෂාදය ඇති වේ යැයිද සමහරු විශ්වාස කරති. බුදු දහම අනුව ජිවිතයේ සුව බව වැඩි වන්නාක් මිස රෝග ඇති වන බවක් අසා නැත. කෙසේ වතුදු වෙනත් අභිප්‍රායක් ඇතිව දහම පුහුණු කිරීමට ආ කෙනෙකුට (උදා: ගෞරව ප්‍රශංසා ලැබීම) එම කරුණ ඉටු නොවීමකදී අසතුට ඇති විය හැක.

