ඔබේ කොන්දත් හයියද බලන්න
අප, අප හා අන් අය සමග ගනුදෙනු කරන ආකාර හතරකි. එනම් රළු, නිවට, නිවට-රළු සහ සෘජු දෙසිනි. පහත වගුව අනුව දමම ක්‍රම හතර විග්‍රහ කර ගනිමු.
රළු පුද්ගලයා තම බලය පාවිච්චි කොට තමාට අවශ්‍ය දේ කරගනියි. එබැවින් ඔහු හෝ ඇය අදාළ සිද්ධියේදී නොතැවී සිටියි. නමුත් එම බලයට යට වන අවට අය අපහහසුවට දුකට පත් වෙති. බලය ලෙස පාවිච්චියට ගන්නේ සමහරවිට කාය ශක්තියයි. තවත් විටෙක නිල හෝ ධන බලයයි. නැතිනම් වැඩි සද්දෙට කතා කොට අන් අය බය කරගන්නවා විය හැක.
නිදසුනක් ලෙස අප හැමෝම වෛද්‍යවරයා මුණ ගැසීමට පෝලිමක ඉන්නා විට එක් පුද්ගලයෙකු පැමිණ පෝලිම පැණ වෛද්‍යවරයා මුණ ගැසීමට යයි. එවිට අප විරුද්ධ වූ විට “ ඕගොල්ල කෑ නොගහ ඉන්න. මම ඩොක්ටර්ගේ යහළුවෙකු” යැයි කියා පෝලිම පැණ වෛද්‍යවරයා මුණ ගැසෙයි.
රළු පුද්ගලයාට රළු ලෙස ප්‍රතිචාර දැක්විය හැක්කේ තමනට වඩා බලයෙන් අඩු අයට පමණි. තමනට වඩා බලය වැඩි අය හමුවේ මේ අය නිවට බවට පත් වෙති.
නිවට පුද්ගලයා සැම විටම අන් අය සතුටු කිරීම තම අරමුණ යැයි සිතයි. තමන් කැමති තීරණය ගැනීමට පැකිළෙයි. අම්මා මොනවා හිතයිද, මාමා මොනවා කියයිද, අහවලා මීට විරුද්ධ වෙයිද, අවට අය මෙය විවේචනය කරයිද, සමාජය මොනවා නොකියයිද ලෙසින් ළතැවෙමින් තීරණ ගැනීමට නොහැකිව අන්තමට අන් අයට වුවමනා ලෙස තීරණ ගනියි; ජීවත් වෙයි. එබැවින් නිතරම සිටින්නේ අපහසුවෙනි; අසහනයෙනි. නමුත් අන් අය මෙම පුද්ගලයාට කැමති වෙති.
නිදසුනක් ලෙස ඔබෙන් යහළුවෙකු ණයක් ඉල්ලනවා යැයි සිතමු. මොහු මීට පෙරණයක්ද ඔබට ගෙවීමට ඇත. එහෙත් ඒ පරණ ණය ගැන ඇසීම හරි නැතැයිද මුදල් නොදුනොත් යහළුවා අමනාප වෙයිද සිතා ඔබ අකමැත්තෙන් වුවද නැවත් ණයක් දෙයි.
නිවට පුද්ගලයාට තම අපහසුව අසහනය ඉවසීමට බැරිම තැනදී පුපුරා ගොස් රළු ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇත.
මෙතෙක් විස්තරය අනුව කෙනෙකු තමනට වඩා බලය අඩු අය ඉදිරියේ රළු ලෙසද තමනට වඩා බලය වැඩි අය ඉදරියේ නිවට ලෙසද හැසිරෙන බව පෙනී යයි. නිදසුනක් ලෙස යම් හෙදියක රෝගීන්ට බැණ වදින අතර විශේෂඥ වෛද්‍යවරයා ඉදිරියේ එකත් පස්ව හැම දේටම එහෙයි කියමින් සිටියි.
නිවට-රළු යනු මදක් තේරුම් ගැනීමට අපහසු ක්‍රම වේදයකි. එහිදී මෙම පුද්ගලයා එක්තරා ලෙසකට නිවට කෙනෙකු ලෙස හැසිරෙයි. එනම් තමනට අවශ්‍ය ලෙස තීරණ ගැනීමට නොහැකිව අන් අයට තම රිසි නොරිසි කෙලින් කීමට නොහැකිව නොයෙක් විට අපහසුවට අසහනයට පත් වෙයි. එවිට මෙම පුද්ගලයා අමුතු රළු බවක් පෙන්වයි. ඒ රළු බව පෙන්වන්නේ තමන් අවට ඉන්නා අයටයි. එම අයට රිදෙන දේවල් එවිට මෙම පුද්ගලයා කරයි.
නිදසුනක් ලෙස සැමියා පරක්කු වී ගෙදර පැමිණි විට ඒ ගැන කෙළින් විමසීමට තරම් හයියක් නොමැති බිරිඳ කතා නොකොට සිට රෑ කෑම නොකා සිටියි. මන්දැයි සැමියා ඇසූ විට ” මොකුත් නැහැ ” යයි කියයි. නැතිනම් මුහුණ එල්ලා ගෙන සිටියි. තවත් සමහර අය තමනට හානි කර ගනිති. සමහර පිරිමි අය අන් අයට රිදෙන ලෙස මද්‍යසාර පාවිච්චි කරති. එනම් පෙම්වතිය තමන් අකමැති දෙයක් කළ විට ඒ ගැන කෙළින් කතා නොකොට මද්‍යසාර පාවිච්චි කොට ඇය ඉදරියේ නොයෙක් රඟ දැක්වීම කරයි.
රළු පුද්ගලයා රළු ලෙස හැසිරෙන විට අපට ඒ ඇයිදැයි කියා ලෙහෙසියෙන් තේරුම් ගත හැක. නමුත් නිවට – රළු පුද්ගලයා මෙවැනි විකාර හැසිරීම් දක්වන විට අපට ඒ ඇයිදැයි කියා නොතේරෙයි. එබැවින් එම අය හා ගනු දෙනු කිරීම ඉතා අපහසුය. නමුත් නිවට -රළු කෙනා සිතන්නේ තමන්ගේ ප්‍රතිචාරය අන් අයට තේරුම් යන බවකි.
සෘජු පුද්ගලයා තමනට අවශ්‍ය දේ තමනට සුදුසු යැයි සිතන දේ කරයි. තීරණයක් ගැනීමට ඔහුට හෝ ඇයට බොහෝ කාලයක් අවශ්‍ය නැත. එසේම තම තීරණය නිසි පරිදි අන් අයට දැනුම් දීමට තරම් හයියක් ඇත. එම නිසා අන් අයට මේ පුද්ගලයා තේරුම් ගැනීම එතරම් අපහසු නැත. එබැවින් බොහෝ විට අන් අය එම පුද්ගලයා හමුවේ අපහසුවට අසහනයට පත් නොවෙති. නමුත් කිසිම කෙනෙකු කිසිදු විටෙක නොරිදවා සිටීමට උත්සාහ කළොත් සෘජු වීමට ඔබට නොහැකිය.
නිදසුනක් ලෙස ඔබ තම රැකියාවේ ස්ථාන මාරුවක් ඉල්ලීම සුදුසු යැයි තීරණය කොට එසේ ඉල්ලන විට සමහර විට ඔබගේ දැන් කාර්යාල සගයා අමනාප විය හැක. නමුත් ඒ නිසා ඔබ ඉල්ලීම නොකර සිටින්නේ නැත. සැම දෙනාම සැම විටම සතුටු කිරීම කළ නොහැකි දෙයකි.
සෘජු බව අඩු වන විට ඉහත ක්‍රම වේද 1, 2 හා 3 ඉස්මතු වෙයි. සෘජු බවට තවත් ගැළපෙන නමකි කොන්ද යන්න. කොන්ද හොඳට හයි යයි යනු සෘජු බව හොඳින් ඇතිය යන්නයි. කොන්ද පණ නැති අය ඉහත ක්‍රම වේද 1, 2 හා 3 වෙත නිතර යොමු වෙති.
සාමාන්‍ය මිනිසුන් හැටියට අප සැවොම තුළ මෙම ක්‍රම වේද හතරම දක්නට ලැබෙයි. නමුත් අප හැකි තරම් ඉහත 1,2 හා 3 ක්‍රම අවම කරගෙන 4 ක්‍රමය මුවහත් කරගත හොත් ජීවිතය වඩා සාර්ථක කොට ගත හැකිය.


